Monday, June 15, 2015

පරිගණකයේ විකසනය

නූතන පරිගණකය විකාශනය වූ අයුරු සලකා බැලීමේදී මුලින්ම අපට මතකයට නැගෙන උපකරණය නම් ඇබකසයයි. ඇබකසය යනු ලොව භාවිතා වූ මුල්ම යාන්ත්‍රික ගණක යන්ත්‍රය (Mechanical Calculator) ලෙස සැලකේ. පහත දැක්වෙන්නේ දර්ශීය ඇබකසයක පිංතූරයකි.

ඇබකසය මගින් පැරැන්නන් එකතු කිරීම සහ අඩුකිරීම වැනි සුළු ගණිත කර්ම සිදුකර ගෙන ඇති අතර ඇබකසය යනු නුතන පරිගණකය විකාශනයේ මූලාරම්භය වශයෙන් සලකනු ලැබේ. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසට පෙර ඈත අතීතයේදී ඊජිප්තු ජාතිකයින් මෙම උපකරණය භාවිතා කල බවට සාක්ෂි ඇති අතර මෑත අතීතයේදී එනම් ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේදී චීන ජාතිකයින් මෙම උපකරණයට රූපයේ දැක්වෙන අන්දමේ පෙනුමක් ලබාදී සංවර්ධනය කර ඇත.

මෙම උපකරණය ලීයෙන් නිමවා ඇති අතර එහි ඇති පබළු ගණනය කිරීම් සඳහා භාවිතා කරනු ලැබේ. කොටස් දෙකකින් යුත් මෙම උපකරණයේ ඉහල කොටස දෙව්ලොව (Heaven) ලෙසද පහල කොටස මිහිකත (Earth) ලෙසද නම් කර ඇත.

යාන්ත්‍රික ගණක යන්ත්‍ර වල සිට ඉලෙක්ට්‍රොනික ගණක යන්ත්‍ර දක්වා ගමන් මග දෙස බලන විට පහත සන්ධිස්ථාන වැදගත් වේ.

ස්කොට්ලන්ත ජාතික ජෝන් නේපියර් විසින් 1617 දී රූපයේ දැක්වෙන නේපියර් බෝන් නම් උපකරණය සොයා ගන්නා ලදී. මෙමගින් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම යන ගණිත කර්ම පහසුවෙන් කර ගත හැකි විය. මේ අනුව පහසුවෙන් ගණිත කර්ම සිදුකර ගත හැකි උපකරණ තැනීම පිළිබඳව විද්‍යාඥයින් වැඩි වශයෙන් උත්සුකවීම ආරම්භ විය. ඒ අනුව විවිධාකාර ක්‍රමවේද භාවිතා කරමින් විද්‍යාඳයින් විවිධ උපකරණ තනන ලදී.

එලෙස තනන ලද උපකරණ අතර 1642 දී ප්‍රංශ ජාතික බ්ලේස් පැස්කල් විසින් සකසනු ලැබූ පැස්කලයින් (Pascaline) නම් උපකරණය විශේෂිත ස්ථානයක් ගන්නා ලදි.

බ්ලේස් පැස්කල්ගේ මෙම උපකරණය මගින්ද සංඛ්‍යා අඩු කිරීම, එකතු කිරීම, වැඩි කිරීම සහ බෙදීම වැනි ගණිත කර්ම ඉතා පහසුවෙන් ඉටුකර ගැනීමට හැකි විය. එබැවින් මෙම ගණක යන්ත්‍ර වල තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය නොනවත්වා පෙර දී තිබු උනන්දුවටත් වඩා වැඩි උනන්දුවකින් සිදුවිය.

ජර්මානු ගණිතඥයකු වන Gottfried Leibniz 1672 දී පමණ Step Reckoner නම් වු උපකරණය නිපදවන ලදි. මෙම උපකරණයද බෙදීම් සහ වැඩිකිරීම් ඉතා පහසුවෙන් කර ගත හැකි ලෙස නිර්මාණය කර තිබීම පරිගණකය නම් වූ සුවිශේෂී උපරකරණය සොයා යන ගමන් මග තවත් හෙලි පෙහෙලි කරලීමට සමත් විය.ලොව විවිධ පුද්ගලයින් තම අරමුණ යම් විශේෂිත උපකරණයක් සොයා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන විට එක් විශේෂිත පුද්ගලයකු එම විශේෂිත උපකරණයහි යාන්ත්‍රණය අඩංගු ප්‍රාථමික යන්ත්‍රයක් නිපදවීය.

එනම් පරිගණකයේ පියා ලෙස වත්මනෙහි හඳුන්වනු ලබන චාල්ස් බැබේජ් නම් වූ ඉංග්‍රීසි ජාතික ගණිතඥයා 1833 දී පමණ එනලටිකල් ඒනජින් (Analytical Engine) නම් උපකරණය නිපදවනු ලැබූ අතර එහි ක්‍රියාකාරීත්වය වත්මන් පරිගණකයක ක්‍රියාකාරීත්වයහි දක්නට ලැබෙන අංග වලින් යුක්ත වීම නිසා ඔහු පරිගණකයේ පියා නම් විරුදාවලිය ලැබීය. එම Analytical Engine හි දක්නට තිබූ වත්මන් පරිගණකයද දක්නට ලැබෙන ප්‍රධාන අංග නම් ආදානය, සැකැස්ම සහ ප්‍රතිදානය යන කොටස්ය.

චාල්ස් බැබේජ් විසින් නිපදවූ මෙම Analytical Engine යන්ත්‍රයහි ක්‍රියාකාරීත්වයට අදාල ඇල්ගොරිතම (Algorithm) කඩදාසියක නිසි ලෙස සටහන් කිරීම ඔගස්ටා ඇඩා ලව්ලේස් (Ogusta Ada Lovelace) නම් වූ කාන්තාව විසින් සිදුකරනු ලැබීය. එබැවින් ලොව ප්‍රථම පරිගණක වැඩසටහන්කරණ ශිල්පිනිය ලෙස මැය නම් වූවාය.




No comments:

Post a Comment